Cryptocurrency

Aug 04, 2020



Cryptocurrency, කියන්නෙ අද වෙනකොට බොහෝ සෙයින් කතාබහට ලක්වුන මාතෘකාවක්. නමුත් බොහෝදෙනෙක්ට ලොකු අදහසක් නැහැ මොකද්ද මේ Cryptocurrency කියන්නෙ කියලා. Cryptocurrency හි නිර්මාපකයා ලෙස හැඳින්වෙන්නෙ සතෝශි නකමොතෝ (Satoshi Nakamoto) නම් මෘදුකාංග ඉංජිනේරුවරයායි.


ඉතින් මොකක්ද මේ Cryptocurrency කියන්නෙ?


Cryptocurrency ගැන තියෙන බරපතල දේවල් පැත්තකින් තියලා සරළවම ගත්තොත්, Cryptocurrency කියන්නෙ, database එකක තියෙන, විශේෂිත වූ කොන්දේසි කිහිපයක් සපුරන්නෙ නොමැතිව, කිසිවෙකුටත් වෙනස්කිරීමට නොහැකි, සීමාසහිත සටහන් ගොණුවකට. මෙය ඉතා සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නට පුළුවන්, නමුත් ඔබ විශ්වාස කළත් නොකළත්, මෙය තමයි ඕනම මුදල් ඒකකයක් අර්ථදක්වන්න පුළුවන් සරලම විදිහ.


සමාන්‍ය බැංකු ගිණුමක තියෙන සල්ලි ගැන හිතන්න: විශේෂ කොන්දේසි කිහිපයක් යටතේ විතරක් වෙනස් කරන්න පුළුවන්, database එකක තියෙන සටහන් ටිකකට වඩා වැඩි දෙයක් එතන නැහැ නේද? කෙටියෙන්ම කිව්වොත්, මුදල් කියන්නෙ ගිණුම්, ශේෂයන්, ගණුදෙනු ආදිය සහිත එක්තරා විදිහක database එකක තියෙන ස්ථිරකළ සටහන් ගොණුවක්.


ඉතින් හරියටම කිව්වොත්, Cryptocurrency කියන්නෙ අන්තර්ජාලය පාදක කරගත්, මූල්‍යමය ගණුදෙනු සඳහා cryptographical functions භාවිත කරන මුදල් ඒකකයක්. Cryptocurrencies, විකේන්ද්‍රගත කිරීමට, විනිවිදභාවය පවත්වාගැනීමට සහ immutability ලබාගැනීම සඳහා blockchain (ලඝුසටහන්) තාක්ෂණය භාවිතකරනු ලබනවා.




Cryptocurrency හි වඩාත්ම වැදගත් අංගය වන්නේ, එය central authority එකක්, එහෙමත් නැත්නම් කේන්ද්‍රීය අධිකාරියක් විසින් පාලනය කරනු නොලැබීමයි. Cryptocurrency සඳහා භාවිත වන ලඝුසටහන් හෙවත් blockchain තාක්ෂණයෙහි විකේන්ද්‍රීය ස්වභාවය හේතුවෙන් Cryptocurrency සිද්ධාන්ත වශයෙන් රාජ්‍ය මැදිහත්වීම්වලින් මුක්ත යැයි සැළකෙනවා.


Private keys සහ Public keys භාවිතයෙන් Cryptocurrencies ඍජුවම, පාර්ශව දෙකක් අතරේ සංසරණය කිරීමට හැකියි. මෙම හුවමාරුකිරීම් ඉතා අඩු සකස්කිරීමේ ගාස්තුවක් (processing fee) වැයකිරීමෙන් සිදුකළ හැකියි. එමනිසා Cryptocurrencies භාවිත කරන්නන් හට පාරම්පරික මූල්‍ය ආයතනවලදී මෙන් ඉහළ ගාස්තුවක් ගෙවීමට සිදුවන්නේ නැහැ.


අද වනවිට, Cryptocurrencies ගෝලීය සංසිද්ධියක් (global phenomenon) බවට පත්ව තිබෙනවා. මේ වෙද්දි Cryptocurrencies පිළිබඳව පර්යේෂණ නොකළ හෝ ඒ පිළිබඳ ලිපි පල නොකළ හෝ blockchain (ලඝුසටහන්) ව්‍යාපෘතියක් ආරම්භ නොකළ, ප්‍රධානපෙළේ කිසිදු බැංකුවක්, විශාල වෙළඳ සමාගමක් හෝ ප්‍රමුඛ මෘදුකාංග (software) සමාගමක් සොයාගත නොහැකි තරම්.


නමුත් බැංකු නිළධාරීන්, විද්‍යාඥයන්, උපදේශකවරුන්, developers ආදීන් පවා ඇතුළුව ලොව ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් හට Cryptocurrencies පිළිබඳව ඇත්තේ ඉතා සීමිත දැනුමක් පමණයි. Cryptocurrency හි මූලික සංකල්පයවත් වටහාගැනීමට ඔවුන්ට බොහෝවිට නොහැකියි.



Cryptocurrencies ක්‍රියාකරන්නෙ කෙසේද?

මේ පිළිබඳව දන්නේ ඉතා සීමිත පිරිසක් වුවත්, Cryptocurrency බිහිවූයේ වෙනත් සොයාගැනීමක අතුරුඵලයක් ලෙසයි. සතෝෂි නකමොතෝ (Satoshi Nakamoto) හෙවත්, පළමුවන මෙන්ම ප්‍රමුඛතම Cryptocurrency වර්ගය වන Bitcoin හි නිර්මාපකයා, Cryptocurrency නම් මුදල් ඒකකයක් නිර්මාණයකිරීමට කිසිවිටෙකත් අදහස් කළේ නැහැ.


2008 වර්ෂයේදී, Bitcoin පිළිබඳව ඔහු විසින්කරන ලද නිවේදනයේදී ඔහු පවසා සිටියේ, ඔහු විසින් "Peer-to-Peer Electronic Cash System එකක්" එනම්, "Peer-to-Peer ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු පද්ධතියක් ඔහු නිර්මාණය කළ බවයි. සතෝෂි හට උවමනා වූයේ සංඛ්‍යාංක මුදල් භාවිතයට පැමිණීමට පෙර, කිසිවෙකුටත් නිර්මාණය කිරීමට නොහැකි වූ දෙයක් නිර්මාණය කිරීමටයි.


සතෝෂිගේ නව නිර්මාණයේ ඉතාමත් වැදගත්  අංගය වූයේ, ඔහු විසින් විකේන්ද්‍රිත (decentralized) සංඛ්‍යාංක මුදල් පද්ධතියක් (digital cash system) නිර්මාණය කිරීමේ මාර්ගයක් සොයාගැනීමයි. 90 දශකයේදී සංඛ්‍යාංක මුදල් නිර්මාණය කිරීම සඳහා බොහෝ පිරිසක් ප්‍රයත්න කළ නමුත් ඔවුන් සියළුදෙනාම පාහේ අසාර්ථකත්වයට පත්වුනා. කේන්ද්‍රගත (centralized) ක්‍රම ඔස්සේ දරන ලද උත්සාහයන් සියල්ල අසාර්ථක වනු දුටු සතෝෂි, කේන්ද්‍රගත පද්ධතියක් නොමැති සංඛ්‍යාංක මුදල් පද්ධතියක් නිර්මාණය කිරීමට උත්සාහ කළා.


සංඛ්‍යාංක මුදල් තේරුම්ගැනීමට නම් ගිණුම්, ශේෂයන්, ගණුදෙනු ආදිය සහිත ගෙවීම් ජාලයක් උදාහරණයට ගැනීමට අවශ්‍යවනවා. ඕනෑම ගෙවීම් ජාලයකට විසඳීමට සිදුවන ගැටළුවක් වන්නේ, යම් ගෙවීමක් එක් වරක් සිදුවූ පසු, එම ගෙවීමම වැරදීමකින් නැවතත් සිදුවීම වැළක්වීමයි (double spending). සාමාන්‍යයෙන් මෙම කටයුත්ත සිදුකරනු ලබන්නේ ශේෂයන් පිළිබඳව වාර්තා තබාගන්නා central server එකක් මගිනුයි.


විකේන්ද්‍රිත (decentralized) ජාලයක, මෙවන් server එකක් පවතින්නෙ නැහැ. එමනිසා එම රාජකාරිය ඉටුකිරීමට විකේන්ද්‍රිත ජාලයේ සෑම entity එකක්ම අවශ්‍ය වනවා.  ඉදිරි ගණුදෙනුවල වලංගුතාවය සෙවීමට සහ නැවත නැවත ගෙවීම් කිරීමේ යත්නයන් පරීක්ෂා කිරීම සඳහා, ජාලයේ සිටින සෑමදෙනෙකුටම, සියළු ගණුදෙනු සහිත ලැයිස්තුවක් තිබීම අවශ්‍යවනවා.


නමුත් එම entities වලට කොහොමද හැකිවෙන්නෙ මෙම වාර්තා පිළිබඳව ඒකමතිකත්වයකට එළඹීමට?


ජාලයේ සිටින Peers ලා එක් කුඩා ශේෂයක් පිළිබඳව හෝ එකඟ නොවුනහොත්, එය මුළු ජාලයම බිඳවැටීමට හේතුවනු ඇති. ඒ සඳහා පරිපූර්ණ වූ ඒකමතිකත්වයක් අවශ්‍ය වනවා. සාමාන්‍යයෙන්, ශේෂයන්හි නිවැරදි තත්වය පිළිබඳව තහවුරු කිරීමට කේන්ද්‍රීය අධිකාරියක් (Central authority) භාවිත කරනු ලබනවා. එහෙත් කොහොමද කේන්ද්‍රීය අධිකාරියක් නොමැතිව ඒකමතිකත්වය පවත්වාගනු ලබන්නෙ?


සතෝෂි විසින් එය සිදුකර පෙන්වනතෙක්ම කිසිවෙකුත් එසේ කළහැකි බව දැනසිටියේ නැහැ. කොටින්ම කිවහොත්, එවැන්නක් සිදුකළ හැකි බව කිසිවෙකුත් විශ්වාස කළේද නැහැ. නමුත් සතෝෂි ඔප්පු කර පෙන්වූවා එය යතාර්ථයක් බව. ඔහුගේ ප්‍රධාන නවෝත්පාදනය වූයේ, කේන්ද්‍රීය අධිකාරියක් (central authority) නොමැතිව "ඒකමතිකත්වය" හෙවත් "consensus" ඇතිකරගැනීමයි.


අපි දැන් බලමු Cryptocurrencyවල databases පාලනය කරන යාන්ත්‍රණය මොකක්ද කියලා. Bitcoin වගේ Cryptocurrency එකක් Peersලා ජාලයකින් සමන්විත වෙනවා. ඒ හැම Peer කෙනෙක් සතුවම සෑම ගණුදෙනුවකම, සම්පූර්ණ ඉතිහාසය ගැන වාර්තාවක් පවතින නිසා, සෑම ගිණුමකම ශේෂයන් පිළිබඳ වාර්තාවක්ද ඔවුන් සතුවනවා.


මෙහි ගණුදෙනුවක් කියන්නෙ මොකක්ද කියන එක තේරුම්ගන්න උදාහරණයක් සැළකුවොත්, "B, X කියන Bitcoin එක Aට දෙනවා. එවිට එය Bගේ private key එකෙන් sign වෙනවා." මෙහි සාමාන්‍ය public key cryptography වලට වඩා වැඩි දෙයක් ඇත්තේ නැහැ. Sign උනාට පසුව, එම ගණුදෙනුව (transaction), 'එක් Peer කෙනෙකුගේ සිට තවත් Peer කෙනෙකුට' වශයෙන් ජාලය තුළ විකාශනය කරනු ලබනවා. මෙය මූලික Peer to Peer තාක්ෂණයයි.


Cryptocurrency මගින් ගණුදෙනුවක් සිදුවූ පසු එය සම්පූර්ණ ජාලයම (network) මගින් ක්ෂණිකව දැනගනු ලබනවා. නමුත් එම ගණුදෙනුව සිදුවූ බව සහතික කරනු ලබන්නේ, යම් නියමිත කාලයක් ගතවූ පසුවයි. ගණුදෙනුව සිදුවූ බව සහතික කිරීම (confirmation) Cryptocurrency හි අතිශය වැදගත් සංකල්පයක්. ගණුදෙනුවක් සිදුවූබව සහතික කරන තුරු, එයට වෙනස්කම් සිදුකළ හැකි අතර, එතෙක් ගණුදෙනුව අවිනිශ්චිත (pending) යැයි සළකනු ලබනවා. ගණුදෙනුව සිදුවූ බව සහතික කළ පසු, එය ගලක කෙටුවා හා සමානයි. එවිට එම ගණුදෙනුව තවදුරටත් කිසිවෙකුටත් වෙනස් කිරීමට හෝ ව්‍යාජ ලෙස සැකසීමට හෝ ආපසු හැරවීමට කිසිසේත් නොහැකියි.


ගණුදෙනුවක් සහතික කළ හැක්කේ Minersලා නම් පිරිසකට පමණයි. එසේ  Cryptocurrency ජාලය තුළ Mnersලාගේ කාර්‍යභාරයයි. ඔවුන් විසින් ගණුදෙනුව නීත්‍යානුකූල යැයි, මුද්‍රා තබා (stamp), ජාලය තුළ විකාශනය කරනු ලබනවා. ගණුදෙනුවක් Miner කෙනෙක් විසින්, සහතික කරනු ලැබූ පසු, Cryptocurrency ජාලය තුළ ඇති සෑම සංරචකයක්ටම (node) එය තම database එකට එකතුකරගැනීමට සිදුවනවා. එය blockchainහි වැදගත් අංගය බවට පත්වී තිබෙනවා.


මෙම රාජකාරිය ඉටුකිරීම වෙනුවෙන් Minersලා හට token එකක් ත්‍යාග කරනු ලබනවා. උපකරණයක් ලෙස Bitcoin හි Minersලා හට Bitcoin ලබාදීම සිදුකරනවා. සත්‍යවශයෙන්ම කිවහොත් මේ Minersලාගේ රාජකාරිය තමයි, Cryptocurrency පද්ධතියක තිබෙන අතිශය වැදගත් අංගය වන්නේ.


අප්‍රතිවර්ත්‍ය බව, ගණුදෙනුව සිදුකරන්නා කිසිවෙකුටත් හඳුනාගැනීමට නොහැකිවීම, සුරක්ෂිතභාවය, වේගවත් මෙන්ම ගෝලීයව කටයුතු සිදුවන ජාලයක් වීම, එය භාවිත කිරීමට කිසිවෙකුගේ අවසරයක් අවශ්‍ය නොවීම, Cryptocurrency හි විශේෂ ලක්ෂණ ලෙස සැළකිය හැකියි.

-අමන්දා සිරිවර්ධන-

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.