තාක්ෂණය සහ ක්‍රිකට්

May 31, 2020

ලොව දෙවන ජනප්‍රියතම ක්‍රීඩාව දළ වශයෙන් සැලකුවහොත් බිලියන 2-3ත් අතර ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ක්‍රිකට් කියන්නෙ ශ්‍රීලංකාවෙ අපිට ඉතාමත් සුවිශේෂී ක්‍රීඩාවක්. ශ්‍රීලංකාව නමින් රටක් ලෝකයේ තියන බව පවා ලෝකයේ සමහර පුද්ගලයින් දැනගන්නේ 1996 දී මුළු ලෝකයම දණගස්වමින් ලෝක කුසලානය දිනාගැනීමත් එක්ක. ඒ හැමදෙයක්ම එක්ක බාල තරුණ මහළු , ගැහැණු පිරිමි කිසිඳු භේදයකින් තොරව ශ්‍රීලංකාව පුරා පමණක් නෙවෙයි ලෝකය පුරාම ජනප්‍රිය වෙලා ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩකයන් පිළිබඳව නිරන්තරයෙන්ම ලෝකය පුරා කතා බහට ලක්වෙනවා. ඔවුන්ගේ දක්ෂතා ,වාර්ථා ,කණ්ඩායම් ලෙසින් දක්වන දක්ෂතා මේ සියල්ල කෙරෙහිම ලෝක අවධානය ඉතාමත් දැඩිව යොමුවෙනවා..නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට තාක්ෂණය යොදාගැනීම සහ ඉන් ක්‍රිකට් වලට එල්ලවන සාධනීය බලපෑම පිලිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙනවා අඩුයි..

ක්‍රිකට් තරඟයකදී පිටිය තුල විනිසුරුවරුන් දෙදෙනෙක් රැදී සිටින අතර ඔවුන් දෙදෙනා Head Umpire සහ Leg Umpire ලෙස හැඳින්වෙනවා. පන්දුවාරයෙන් පන්දුවාරයට පන්දුයවන අන්තයන් වෙනස්වීමත් සමඟ මෙම විනිසුරුවන් දෙදෙනාම ඉහත Head Umpire සහ් Leg Umpire යන ස්ථාන ද්විත්වයේම රාජකාරියේ යෙදෙනු ලබනවා. පිටිය තුලදී ලබාදෙන සියළුම තීරණ වල වගකීම ඔවුන් දෙදෙනා අත රැඳී පවතින අතර නිපන්දු සහ වයිඩ් පන්දු ආදී සියළු තීරණ ,කඩුල්ල මුවා කිරීමේ අවස්ථාවන් සහ පිටිය මැද සිදුවන සියළු ක්‍රියාකරකම් ඔවුන් දෙදෙනා විසින් විවිධාකාරයේ තීරණ ලබාදෙනු ලබනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩයන් වෙත අවධානය යොමුකරන තරමටම විනිසුරුවන් වෙත ප්‍රේක්ෂක අවධානයක් යොමු නොවුනත් විනිසුරු ගේ කාර්‍යභාරය ඉතාමත් භාරදූර කාර්‍යභාරයක්.පියවි ඇසින් කඩුල්ල මුවා කිරීම්(LBW) , stump කිරීම්, දුවද්දී දැවීයාම්(Run Outs) ලබාදීම කෙසේවත් පහසු කාර්‍යක් නෙමෙයි. සමහර අවස්ථා වලදී ඔවුන් අතින් දෝෂ සහිත තීරණ ලැබෙන්නේ ඉහත කාර්‍යන්ගේ අපහසුභාවය නිසාමයි.  විනිසුරුගෙන් ඇතැම් විට ලැබෙන දෝෂ සහිත තීරණ ක්‍රීඩාවේම කොටසක් බවට පත්කරගනිමින් එම තීරණ පිලිබඳ පසුවිපරමක් නොකරමින් සිටි අවදියක්ද ක්‍රිකට් ක්‍රීඩාවේ අතීතය දෙස බැලීමේදී පෙනීයනවා..

1920 දශකයේ ක්‍රිකට් විනිසුරුවරයෙක්

එහෙත් තෙවන විනිසුරුගේ එක්වීමත් සමඟම යම් මට්ටමකට ඉදිරියට පැමිණි ක්‍රීඩාවට තාක්ෂණය යොදාගැනීම වර්ථමානයවන විට අතිශයින් දියුණුවට පැමිණ තිබෙන ආකාරය දැකගන්න පුලුවන්. වර්ථමානයේ විනිසුරුවරුන් දෙදෙනාගේ පියවි ඇසට අමතරව  ඔවුන්ට එක එල්ලේ ලබා දිය නොහැකි තීරණ ලබාදීම සඳහාත් ,  පිතිකරුවන් සහ පන්දු යවන කණ්ඩායම විසින් විනිසුරු තීරණයක් නැවත විමසීමට (Umpire Decision Review System – UDRS) අභියෝග කල විට ඒ සඳහා තාක්ෂණික උපාංග රාශියක් ක්‍රිකට් ක්‍රීඩාවේදී යොදාගන්නවා. HawkEye ,Hot Spot සහ Snico Meter ඒ ආකාරයෙන් යොදාගන්නා උපාංග ලෙස අපිට හඳුනාගන්නට පුලුවන්.

විනිසුරු තීරණ අභියෝගයට ලක්කිරීමක් සිදුකරනDavid Warner

HawkEye

විනිසුරු තීරණ නැවත විමසීමේදී බහුලවම භාවිතා වන Hawkeye ක්‍රමවේදිය ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව පාපන්දු ,ටෙනිස්,හොකී ආදී ක්‍රීඩා සඳහාද භාවිතා වෙනවා. මෙය විද්‍යාඥ පෝල් හෝකින්ස් (Paul hawkins) මහතා විසින් වැඩිදියුණු කරන ලද ක්‍රමයක් වන අතර වර්ථමාන අයිතිය Sony සමාගම සතුවෙනවා. එක් එක් ස්ථාන වල නියමිත ගණනය කිරීම් වලට අනුව රැඳවූ කැමරා 7-8ක් පමණ වූ ප්‍රමාණයකින් පන්දු යවන්නා පන්දුව නිදහස් කරන අවස්ථාවේ සිට පන්දුව නිරීක්ෂණයට ලක් කෙරෙන අතර පන්දුව පතිත වූ ස්ථානය පවා ඉතාමත් නිවැරදිව මෙම තාක්ෂණය මගින් දැකගැනීමේ හැකියාවක් පවතිනවා..විශේෂයෙන් කඩුල්ල මුවා කිරීමේ අවස්ථා අභියෝගයට ලක්වීමේදී hawkEye ඉතාමත් වැදගත් කාර්‍යභාරයක් ඉටුකරනවා.පන්දුව පතිත වන ස්ථානය, පිතිකරුවාගේ පා ආවරණයේ පන්දුව වැදුනු ස්ථානය සහ ඉන් අනතුරුව පන්දුව කඩුල්ලේ වදිනවාද නැතිද යන්න මෙමගින් විස්ලේෂණය කල හැකියි. පසුකාලීනව පන්දුවේ වේගය , දෝලනය ,දඟකැවීම වැනි අංශ නිරීක්ෂණයටද මෙම තාක්ෂණය යොදාගනු ලබනවා. වර්ථමානයේ රූපවාහිනිය හරහා තරඟය නරඹන ප්‍රේක්ෂයකින් මෙම තාක්ෂණය කෙරෙහි ඉමහත් ආකර්ෂණයක් දක්වන නිසාවෙන්ම රූපවාහිනිය මගින් තරඟ විකාශය කිරීමේදී මෙම තාක්ෂණය යොදාගෙන කරනු ලබන පුනරූපන ඉතා ආකර්ෂණීය අන්දමින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරනු ලබනවා.

HawkEye තාක්ෂණය යොදාගැනීම

Hot Spot

ඇතැම් තරඟාවලි වලදී දැඩිසේ ප්‍රශ්න කිරීමට ලක්වුනු එහෙත් සමහර තරඟාවලි වලදී තියුනු තීරණ ලබාදීම සඳහා උපකාරී වුනු  මෙම තාක්ෂණය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන රටවල් ද්විත්වයේ ක්‍රීඩාකරන ක්‍රිකට් තරඟ නරඹන ඕනෑම කෙනෙකුට එතරම් නුපුරුදු තාක්ෂණ ක්‍රියාවලියක් නම් නෙමෙයි.

ප්‍රංශ විද්‍යාඥ නිකලස් බයෝන් (Nicholas Bion) විසින් දියුණු කරන ලද එය තණතීරුවේ ප්‍රතිවිරුද්ධ කෙළවර වල ස්ථානගත කර ඇති අධෝරක්ත කැමරා දෙකක වීඩියෝ ආධාරයෙන් නිශ්චිත රාමුවක සිදුවන පිත්ත සහ පන්දුව අතර තාප හුවමාරුව හඳුනාගන්නවා. පන්දුව පිත්තේ යාන්තමින් ගෑවුන අවස්ථාවක පවා සිදුවන තාප හුවමාරුව හඳුනාගනිමින් එම සලකුණ නිවැරදිව ග්‍රහණය කරගන්නත් ඉන්පසු එම දර්ශනය පරිගනකය වෙත ලබාදෙන්නත් මෙම තාක්ෂණය සමත්කම් දක්වනවා..එහෙත් 2011 ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සහ 2013 අළුබඳුන(Ashes) තරඟාවලියේදී මෙම තාක්ෂණය හරහා ලබාදුන් තීරණ තරමක මතභේදාත්මක තත්වයක් පලකලා. ඒ සමඟ මෙහි නිරවද්‍යතාවය පිලිබඳව කතිකාවක් ඇතිවුනා. ක්‍රිකට් පිත්තේ ඇතැම් ක්‍රීඩකයින් අලවාගෙන සිටි විවිධ ටේප් පටි(bat tapes) මගින් මෙම ක්‍රියාවලියට බාධා එල්ල වීමක් සිදුවන බවට චෝදනා එල්ලවීමකුත්  සිදුවුනා. විවිධ හැලහැප්පීම් මධ්‍යයේ වුවත් තවමත් එංගලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල් මෙම තාක්ෂණය භාවිතා කරන ආකාරය අපිට දැකගන්න පුලුවන්. විශේෂයෙන් මෙම තාක්ෂණය සඳහා දැරීමට සිදුවන අධික පිරිවැය නිසා ශ්‍රීලංකාව වැනි රටවල් මෙම තාක්ෂණය කෙරෙහි එතරම් අවධානයක් යොමු කරන්නේ නෑ.

Hot Spot තාක්ෂණය යොදාගැනීම
මතභේදයට තුඩුදුන් 2013 අළුබඳුන තරඟාවලියේ පිත්තේ සිලිකන් පටියක් අලවා තිබීම සම්බන්ධව චෝදනාවක් එල්ල වූ එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන්

Snico Meter

දිශානුගත මයික්‍රෆෝනයන් භාවිතා කරමින් ශබ්ද තරංග වල හැඩයන් යොදාගනිමින් පන්දුව සහ පිත්ත අතර ඇතිවන ගැටීම් හඳුනාගැනීම සහ ඒ අනුව පන්දුව පිත්තේ හෝ අත් ආවරණයක(Glove) වැදුනාදැයි තහවුරු කරගැනීම සඳහා Snicometer උපකරණය යොදාගනු ලබනවා.

මෙහිදී පිත්ත සහ පන්දුව ලාක්ෂණික තරංග දෙකක් ලෙස සලකමින් යම් අවස්ථාව්ක එය එකිනෙක ගැටුන විට සිදුවන තරංග වෙනස් වීම(Snic) දක්වනු ලබනවා. එමගින් පන්දුව පිත්තේ වැදුනාදැයි දැනගැනීම තෙවන විනිසුරුවරයාට හැකියාවක් ලැබෙනවා.

Snico-meter යොදාගනිමින් පරික්ෂාව

කෙසේ වෙතත් යම් යම් අවස්ථාවලදී මෙයින්ද මතභේදාත්මක තීරණයන් ලැබීම නිසා මෙයද යම් යම් තරඟාවලි වලදී කථාබහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුනා. කෙසේවෙතත් ඇලන් පැස්කට් (Alan Plaskett) විසින් නිපදවූ මෙම ක්‍රමය වර්ථමානය වන විට ලෝකයේ බොහෝ රටවල ක්‍රිකට් තරඟ සඳහා යොදාගන්නා ජනප්‍රිය ක්‍රමයක්.

මෙම අංශ වලින් පරිභාහිරව ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි වෙනත් අංශ වලින්ද තාක්ෂණය වර්ථමානය වන විට යොදාගන්නවා. උදාහරණ ලෙසින් 2019 ලෝක කුසලානයේ ශ්‍රීලංකා ජර්සිය ඉවතලන බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් නිමකර තිබීම, ඉන්දිය කණ්ඩායමේ ජර්සිය නිපදවීමට Nike සමාගම විසින් DryFit තාක්ෂණය (දහදිය ජර්සියෙන් පිටට ගෙනවිත් ශරීරය සිසිල් කිරීමේ තාක්ෂණ ක්‍රමයකි) යොදා ගැනීම ආදිය දැක්වන්න පුලුවන්.

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ ජර්සිය

මේ සියළු ආකරවලින් තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට යොදාගනිද්දී තවමත් තාක්ෂණයට නතු නොවී පාරම්පරික ක්‍රමයටම සිදුවන ක්‍රියාවලිත් දක්නට ලැබෙනවා.  ලෙදර් පන්දු මැසීමේ ක්‍රියාවලිය සහ විලෝ පිති නිෂ්පාදනය තවමත් පැරණි ක්‍රමයටම සිදුකරනු ලැබීම ඊට හොඳම උදාහරණයක්. එය දැනට කිරීමේ අනුමැතිය ලැබී ඇත්තේද කිහිපදෙනෙකුට පමණයි.

මේ ආකාරයෙන් සාම්ප්‍රදායන් රැකගනිමින් ක්‍රිකට් ක්‍රීඩාව තාක්ෂණික සහයත් සමඟ ඉදිරියට යමින් තව තවත් ලොව පුරා රටවල් අතර පැතිරීම ක්‍රීඩාලෝලීන්ගේ මෙන්ම ICC(international cricket council) හිද අදහස වනවා නොඅනුමානයි. ඊට තාක්ෂණය සාධනීය ආකාරයකින් දායක වනු දැකීම සියල්ලන්ගේම පැතුමයි.

Great! You've successfully subscribed.
Great! Next, complete checkout for full access.
Welcome back! You've successfully signed in.
Success! Your account is fully activated, you now have access to all content.